Sunday, March 20, 2011

පොලියානා ( Polliyana)

 කතෘ        -      Eleanor H. Porter
පරිවර්තක -     කත‍යානා අමරසිංහ


"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි.
පොලියාන මෘදු ලෙස සිනාසුනාය.
"හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. "
"සෙල්ලමක් ? "
"ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා"
"ඔයා මොනවා කියනවද මන්දා..."

"ඇයි ඒක සෙල්ලමක්නෙ තාත්තා තමයි මට ඒක කියලා දුන්නෙ. ඒක හරිම විනෝදයි" පොලියාන කීවාය."අපි හැමවෙලේම ඒ සෙල්ලම කලා- මං පුංචිම පුංචි ළමයෙක් වෙලා හිටපු කාලෙ ඉඳන්ම මං අර කාන්තා සරණ සංගමේ කට්ටියටත් ඒ ගැන කිව්වා ඒගොල්ලන්ග්ගෙ සමහරුත් ඒ සෙල්ලම කළා "
"ඒ මොකක්ද? ම්ං නං දැන් සෙල්ලං කරන වයසක නෙමේ ඉන්නේ"

පොලියාන සිනාසුනාය. එහෙත් ඇය සුසුමක්ද හෙලුවාය. ඇගේ මුහුණට එකතු වූ ආලෝකය සමඟ මුහුණ වඩාත් සිහින් හා වේදනාබර ලෙස පෙනුණි.
"ඔන්න අපි ඒක පටං ගත්තෙ මිෂනරි තෑගි පෙට්ටියක කිහිලිකරු දෙකක් ආපු දවසෙ ඉඳං... "
 " කිහිලිකරු....?"
"ඔව් ඔයා දන්නවද මට ඕන වෙලා තිබුණෙ බෝනික්කෙක්, තාත්තා ඒ ගැන ඒගොල්ලන්ට දන්වලත් තිබුණා ඒත් තෑගි පෙට්ටිය ආවම ඒගොල්ලො ලියලා එවල තිබුණා බෝනික්කො ඒකෙ නෑ කියලා. ඒ වෙනුවට පුංචි කිහිලිකරු දෙකක් තිබුනා. ඒ ගොල්ලං හිතුවා ඒක කාට හරි පුංචි ළමයෙකුට කවදාක හරි ඕන වෙයි කියලා. ඔන්න එතකොට තමා අපි ඒ සෙල්ලම පටන් ගත්තේ... "
"මට නං පේන්නේ නෑ ඒගැන කිසිම සෙල්ලමක් කරන්ඩ පුළුවං කියලා" යි නැන්සි නොරුස්නා ස්වරයෙන් කීවාය.
"අනේ ඔව් ඒත් අපේ සෙල්ලම තමා හැමදේකම තියෙන මොකක් හරි සතුටු වෙන්ඩ පුලුවං දෙයක් හොයන එක- ඒක මොකක් උණත් කමක් නෑ... "පොලියානා අවංක හඬින් කීවාය.
 "අනේ දෙයියනේ මට නං ඒක ගැන සංතෝස වෙන්න පුළුවං කිසිම දෙයක් පේන්නෙ නෑ..."

"අන්න ඒක තමයි.... ඒක තමයි...".ඇය කෑ ගැසුවාය. "අනේ දෙයියනේ ඇයි ඔයාට කිහිලිකරු ඕන නැති එක ගැන සන්තෝස වෙන්නකො..." ප්‍රීතියෙන් උදම් වෙමින් පොලියානා කීවාය.



Eleanor H. Porter
ඇය නවකතාකරණයට පිවිසෙන්නේ වර්ෂ 1907 දීය. පොල්ලියන 1913 දී ලියා පළ කරණ ලදි. මෙහි දෙවන කොටස Polliyana Grows Up  නමින් ලියා පළ කලාය.මේ පොත් දෙකම  ඇමෙරිකාවේ ජනප්‍රිය වූයේ Glad books යන නමිනි. ජීවිතයේ හැම ගැටලුවක් දෙසම සුභවාදී ලෙස බලා එහි හොඳ පැත්ත ගැන සතුටු වෙන ලමයෙකු වටා මෙය ගෙතී ඇත.

Monday, March 7, 2011

සදත් විල මහා සුබද්‍රාවෝ

 කතෘ   -   සේන තෝරදෙනිය

සරණ විචාරා විවාහ ගිවිස ගත්තද එය තවත් කාලයකට යටපත්ව ගියේය.ගොයම් කළමනා වක කල් පසුවේයයි අම්මා බියට පත් වූ. හදිස්සියේම දිනක මනාල මහතාද ඔහුගේ මවද පැමිණියේ විවාහය තීන්දු කිරීමට කිසියම් පරික්ෂනයක් කිරීමට මෙනි. සංග්‍රහ විඳ සතුටට පත් වූ නැන්දම්මා දියණිය තමා වෙතට කැඳෙව්වාය. පරික්ෂණය ඇරඹිණ. රූපරාජිනී තරඟයකදි මෙන් ඇයට විවිධ ඉරියව්වෙන් සිටීමටද, විවිධ ඇඳුම් මෝස්තරවලින් පෙනී සිටීමටද අවශ්‍ය නොවීය. ඇඳුම් මෝස්තර  නිරූපණයකදී මෙන් ඇයට ඒ අතට මේ අතට හැරෙන්නටද අවශ්‍ය නොවීය.

සභාවේ කවුරුත් තුෂ්නිම්බූතව බලා සිටියහ. මේ ඉදිරිපස සාලයයි.

"මට අත් දෙක බලන්න ඕනෑ"

කිසිත් නොදන්නා මනාලිය පැකිලුණාය.

"බය වෙන්ට එපා" යි ඇය මනාලියගේ අත් දෙක ගත්තාය.ඉහලට එසෙවුවාය. තෙමේම ඇඟිලි දිග හැරියාය. ඇඟිලි දහයම ඉහළට එසවිණ. ඇය අත් දෙක හොඳින් පරික්ෂා කළාය. ඇයට සිනාවක් පහළ වීය.ඉන්පසුව තමාට අවශ්‍ය දේ තවත් තහවුරු කර ගැනීමට අත්ල හා ඇඟිලි පුරුක් පිරිමැද බැලුවාය.

"වී හාල් වල වැඩ පුරුදුයි. මට ඕනැන්නේ එහෙම කෙනෙක්."

ආපසු නිවසට බලා ගිය නැන්දණිය පසු දින මඟුල් කපුවා අත පණිවිඩයක් එවා තිබුනේ තමන් (පුත්‍රයා නොවේ)විවාහයට කැමති බැව් ප්‍රකාශ කරමිනි. දේපොල ඇති පැරණි ගැහැණු මෙසේ ගැහැණුන් "විවාහ" කර ගත්හ.

මායාකාරියගේ වෙස්මුහුණ ( Mask of the Enchantress )

 කතෘ        -       වික්ටෝරියා හෝල්ට්
පරිවර්තක -      මනෝජ් ප්‍රසන්න රත්නායක


රාත්‍රී කෑම ගැනීමෙන් පසු මම දින පොතක් ගෙන ඇඳට වැටුනෙමි. එය මීට අවුරුදු දෙකකට පමණ පෙර දිනයකට අයත් පිටුවකි. එහි මෙසේ සඳහන් විය. 

මාර්තු 10

අවිවේකී රාත්‍රියකි. මම S එනතුරු බලා සිටියෙමි. එහෙත් ඇය නොආවාය. ඇය අපගේ විවාහයට කැමති යයි මම සිතමි. එසේ වුවද ඇය වෙන කෙනෙකු සමඟ සබඳතාවක් පවත්වනවාදැයි මට විටෙක සැකය. ගාර්ත් මෙහි පැමිණ සිටී මැල්කම්ද පැමිණියේය. ඔහු හා S අතර එතරම් හොඳ හිතක් නැති බව පෙනේ.

ඔහුගේ දින පොතේ අන්තිම ලියවිල්ල එහා මෙහා ගිය අත් අකුරෙන් ලියැවුනකි. එහි ලියැවී තිබුනේ මෙවැන්නකි.
ලියාගන්නටත් බැරි තරමට අසනීපය. හැමවිටම S ගැන සිතමි.

වික්ටෝරියා හෝල්ට් යනු සුප්‍රකට ඉංග්‍රීසි නවකතාකාරියකි. වික්ටෝරියා හෝල්ට් යන නමෙන් ජනප්‍රියව සිටියද ඇගේ නියම නම එය නොව එලිනෝර් ඇලිස් බර්ෆොඩ් හිබර්ට් ය එහෙත් පාඨකයා ඇයව හඳුනා ගත්තේ වික්ටෝරියා හෝල්ට් ලෙසය.

වික්ටෝරියා හෝල්ට් යන අනවර්ත නාමයෙන් මෙන්ම පිලිපි කාර් ජින් ප්ලිඩි යන නම් වලින් පෙනී සිටිමින්ද ඇය පොත් ලිව්වාය.

1960 දී පළමු ඇගේ "මිස්ට්‍රස් ඔෆ් මෙලින්" කෘතිය විශාල අලෙවි වාර්තාවක් තැබීමට සමත් විය.

අත්බූත ප්‍රේම කතා සම්ප්‍රදාය ගරු කළ වික්ටෝරියා හෝල්ට් හැමවිටම උත්සහ කළේ කුතුහලය ඇති කරවමින් කතාව ඉදිරියට ගෙන යනනටය. බ්ලැක් ඕපල්, හවුස් ඔෆ් තවුසන්ඩ්, ලැන්ටන්ස්, මාස්ක් ඔෆ් ද එන්චැන්ට්‍රස්.මිස්ට්‍රස් ඔෆ් මෙලින්, මයි එනිමි ද ක්වීන් ආදී නවකතා මේ අසහාය ලේඛිකාවගේ කෘතීන් අතර සුවිශේෂ වෙයි.

Friday, February 11, 2011

රෝහිණී සුන්දරා

කර්තෘ - එච්. පී. නන්දසාර

  • "සුන්දරා . . . ! මගෙ මේ ශරීරය මම නෙමේ . . ! ඒත් මම ඉන්නෙ මේ ශරීරය ඇතුළෙ! මගේ ශරීරය මැරෙනව . . ! ඒත් මම මැරෙන්නෙ නෑ . . ! ශරීරය ජරා ජීර්ණ වෙනකොට, මම නොමැරී වෙන ශරීරයක් සොයා යනවා . . ! ඒ ශරීරයෙත් මම ජීවත් වෙනව. ! මගේ ශරීරය මැරුනත් මම නැවත නැවතත් උපදිනව. . . ! ඒක හින්ද මම මොහොතින් මොහොත පැයෙන් පැය, දවසින් දවස ප්‍රබලව වැඩෙනව . . ! මම හැමදාමත් කරල තියෙන්නෙ ඕකයි සුන්දරා . . ! තවමත් මට මම මරා ගන්ඩ බැරි වුණා ! ඒක කරන්ඩ තවමත් මට පින් මදි සුන්දරා."
  • ''බලන්ඩ සුන්දරා... මලක් පිපුනහම පෙති වල අගිසි පිහිටන්නෙ වෘත්තයක හැඩේට. වතුරට ගලක් ගහපුවහම නගින රැල්ලත් වෘත්තයක්...! වහලෙ සිදුරකින් කෙළින් බිමට වැටෙන ආලෝකයත් වෘත්තයක්. දේදුන්ත් වෘත්තයක්..! වැහි බින්දුව, පිනි බින්දුව, පෙණ බුලුළ.. එව්ව ගෝලාකාරයි..! පොළව, ඉර, හද ගෝලාකාරයි..! මල් කැකුළ, නෙළුම් කැකුළ, දේවදාර ගෙඩිය, ඉඹුල් ගස් වල කටු..! මේ හැම එකකම තියෙන්නෙ කේතුවන හැඩේ..! ලෝකෙ හැමදේකම තියෙන්නෙ ඔය විදියට විවිද හැඩතල.

මහා නින්ද (The Big Sleep)

කතෘ - Raymond Chandler
පරිවර්තක - එල්. එස්. එස්. පතිරත්න

ඔබ මිය ගිය පසු වැතිර සිටින්නේ කොතැනද යන්න වැදගත් නොවේ. අපිරිසිදු මඩ සහිත තෙල් ලිං වලකද නැතහොත් කඳු මුදුනක තැනූ පිඟන් ගඩොලින් සැරසූ ටැඹක් තුළද යන්න වැදගත් වන්නේද?
ඔබ අයුක්ති සහගත ලෙස මිය ගොසිණි. ඔබ මහා නින්ද වැළද ගෙන ඇත. මියගිය ආකාරය ගැන හෝ වැතිර සිටින ස්ථානය ගැන ඔබ කරදරයට පත් නොවනු ඇත.ඔබට තෙල් සහ ජලය හෝ සුළග සහ වාතය අතර වෙනසක් නොදැනෙනනවා විය හැකිය නුඹ මියගිය ආකාරයේ තිබූ භයානක කම හෝ ඔබ මිය යන විට ඇද වැටුන ආකාරය ගැන කිසිදු සැලකිල්ලක් නොගෙන ඔබ මහා නින්ද නිදා ගත්තෙහිය.

Wednesday, February 9, 2011

සාතන්ගේ සලකුණ ( The Omen)

කතෘ - David Seltzer
පරිවර්තක - කුමාර සිරිවර්ධන

  • තත්පරයෙන් දහසෙන් එකක් වැනි ඉතා සුලු කාලයක් ඇතුළත එය සිදු විය. චක්‍රාවාටයක් ඇතුළත සාමාන්‍යයෙන් එවැනි චලනයක් සම්පූර්ණ වන්නට කල්පයක්, වසර මිලියන දහසක් පමණ ගත විය යුතුය. එහෙත් එය ඇසිපිය හෙළන ක්ෂණයකටත් අඩු කාලයක් ඇතුළත සිදු විය.

  • එය සයවන මාසයේ සයවන දිනයේ සය වන පැයද විය. "පෘතුවියේ ඉතිහාසය වෙනස් වීම ඇරඹෙන්නේය" යනුවෙන් පැරණි තෙස්තමේන්තුවේ අනාවැකියකින් ප්‍රකාශ වී තිබූ හෝරාවද විය

බ්‍රිතාන්‍යයේ ඇමරිකානු තානාපතිවරයා හදිසියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන් ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බවය. ඒ සනාථ කරන සලකුණ 666 ඩේමියන්ගේ හිසේ සටහන්ව තිබිණි. සාතන්ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් ආමගෙඩොන් පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වන්නට තානාපති තොර්න් ට හැකිවේවිද?
1976 දී මෙන්ම 2006 දීද හොලිවුඩයේ චිත්‍රපට දෙකකටද මෙම නවකතාව පාදක විය.

Friday, February 4, 2011

ආදරේ තරම් ම යසෝදරා

කර්තෘ - උපුල් ශාන්ත සන්නස්ගල

ජීවිතය හරි වටිනා දෙයක්. 
ආශාවන් යනු කායික උවමනාවන් පමණක්ම යයි ලඝු කිරීමට ඈ සිහිනෙකිනිදු සිතුවේ නැත. තුරැළු වී සැනසීම කායික සංහිඳවීමක්ම නොව ගැහැනියකගේ මානසික වුවමනාවකි.තුරුලු වී ආශාවන්ට ඉඩ හළ හැම දිනකම, ආනන්ද බොහෝ ලස්සන ආදර කතා කීවේය; ස්නේහය පිරී ගිය වදන් මිමිනුවේය.

" ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට පුදුම තරම් ජීවිතය හිතෛශිවන්තයි කියලා හිතෙනවා. ඔයා කොහොමද යසෝ ඉගෙනගත්තෙ මාව දමනය කරන්න. මට හරි බයයි ඔයා ළඟ ඉන්නකොට මට මාර්ගඵල ලැබේයි කියලා. මට ශාසනය එපා උණේ මාව දමනය කරන්න කවුරුත් හිටියේ නැති හින්දා; මට දමනය වෙන්න බැරි හින්දා. ඔයා මාව දමනය කරන කොට මට නිවන හරි ලඟයි යසෝ "

" ආදරය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ආදරය කියන්නේ විශ්වාසවන්ත කමට තවත් නමක්. ජීවිතය කියන්නේ ප්‍රශ්නයකට ලැබෙන ආදරණීය උත්තරයක්. මට ආනන්ද ගැන තියෙන විශ්වාසය තමයි මගේ ආදරේ තරම. ඒ තරම්ම ආදරය තමයි, හිතේ තැන්පත් වෙලා තියෙන ගෞරවය. "