Friday, February 4, 2011

ආදරේ තරම් ම යසෝදරා

කර්තෘ - උපුල් ශාන්ත සන්නස්ගල

ජීවිතය හරි වටිනා දෙයක්. 
ආශාවන් යනු කායික උවමනාවන් පමණක්ම යයි ලඝු කිරීමට ඈ සිහිනෙකිනිදු සිතුවේ නැත. තුරැළු වී සැනසීම කායික සංහිඳවීමක්ම නොව ගැහැනියකගේ මානසික වුවමනාවකි.තුරුලු වී ආශාවන්ට ඉඩ හළ හැම දිනකම, ආනන්ද බොහෝ ලස්සන ආදර කතා කීවේය; ස්නේහය පිරී ගිය වදන් මිමිනුවේය.

" ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට පුදුම තරම් ජීවිතය හිතෛශිවන්තයි කියලා හිතෙනවා. ඔයා කොහොමද යසෝ ඉගෙනගත්තෙ මාව දමනය කරන්න. මට හරි බයයි ඔයා ළඟ ඉන්නකොට මට මාර්ගඵල ලැබේයි කියලා. මට ශාසනය එපා උණේ මාව දමනය කරන්න කවුරුත් හිටියේ නැති හින්දා; මට දමනය වෙන්න බැරි හින්දා. ඔයා මාව දමනය කරන කොට මට නිවන හරි ලඟයි යසෝ "

" ආදරය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ආදරය කියන්නේ විශ්වාසවන්ත කමට තවත් නමක්. ජීවිතය කියන්නේ ප්‍රශ්නයකට ලැබෙන ආදරණීය උත්තරයක්. මට ආනන්ද ගැන තියෙන විශ්වාසය තමයි මගේ ආදරේ තරම. ඒ තරම්ම ආදරය තමයි, හිතේ තැන්පත් වෙලා තියෙන ගෞරවය. "

Wednesday, February 2, 2011

මල්මද බිසෝලා

 කතෘ-අනුල ද සිල්වා

 විනාඩි කිහිපයකින් පුංචාත් බාසුන්නැහේත් ඇර අනෙක් සියලුදෙනා ම මගට පිළිපන්හ. පුංචා බාස් උන්නැහේට තනියට නැවතුණේය.
කොඩිවැල් එල්ලා තාප්පය දිගට ම මැටි පහන් දල්වා තිබූ පන්සල හරිම ලස්සනය. රංසොනෝනා පසුපසින් ගමන් කළ බසියා රංසොනෝනාට හොරෙන් තවත් වරක් මල් සුවද ආඝ්‍රාණය කළාය.
බසියා රංසොනැන්දා සමග තෙවරක්ම  බෝධිය පැදකුණු කළාය. දැඩි සර්ධාවකින් මල් පහන් පූජා කළාය. වෙනදා මෙන් අමාලි හා සුනීතා සමග පන්සලේ එහෙ මෙහෙ දුවන්නට සෙල්ලම් සිතක් යාන්තමට හෝ ඇති නොවීය.
පසුදා උදෑසන වෙනදා මෙන් බසියා පාන්දරින්ම අවදි නොවීය. කපුටන් කෑ ගසද්දී රංසොනෝනා අවදි වූයේ බසියාට කෑ ගසමිනි.

ගැහැනු කම නිසාම ගැහැනු බොහෝවිට දුක් වේදනා විඳිති.
ඒ දුක් වේදනා ඉවසා සිටින ගැහැනුන් මෙන්ම ඒ දුකට එරෙහිව සටන් වදින ගැහැනුද අප අතර සිටිති
මල්මද බිසෝ එවැනි ගැහැනු කිහිප දෙනෙකු ගැන කතාවයි. 






ඔට්රැන්ටෝ මාලිගය


 The Castle Of Otranto 
 කතෘ -Horace Walpole

ඇය තමාගේ නොඉවසිලිමත් ගමනට ඉඩකඩ සලසා ගනිමින්, තමා ලුහුබැඳ එන්නේදැයි කියා නිරතුරුවම සවන් යොමු කරමින්, සෙමෙන් පියවර තැබුවාය. එවන් එක් මොහොතක, ඇය තමාට සුසුම් හෙළන හඬක් ඇසුණු බව සිතුවාය. බියෙන් වෙවුලා ගිය ඇය, පැකිළුණු පියවර කීපයක් පෙරට තැබුවාය. තවත් මොහොතකදී, ඇය, කිසිවකු විසින් තබන ලද පියවර හඩක් තමාට ඇසුණු බව සිතුවාය. එම අදහස ඇගේ රුධිරය භීතියෙන් කැටි කර දැමුවේය. අවසානයේ ඇය, මැන්ෆ්‍රෙඩ් තමා ලුහුබඳිමින් සිටින බව නිගමනය කළාය.
 
1965 වසරේදී හොරස් වෝල්පෝල් විසින් ලියන ලද නැමැති මෙම නවකතාව, ඉංග්‍රීසි සාහිත්‍යයට එක් වූ පළමු ගොතික් සම්ප්‍රදායේ නවකතාව ලෙසින් අමරණීය සටහනක් තබා ඇත.

Tuesday, February 1, 2011

සිහිනයක රැඳි රහසක්


The Reincarnation
of Peter Proud

කතෘ - Max  Ehrlich
පරිවර්තනය චන්දන මෙන්ඩිස්

"කවුද දන්නේ? බාගවෙලාවට මේක අහඹු සිදුවීමක් නොවෙන්නත් පුළුවන් . . .
 . . . අපි දෙන්නා මීට කලින් ආත්මයක එකිනෙකා මුණගැහෙන්න ඇති . . .
බාග වෙලාවට අපි දෙන්නා ළගම ඥාතීන් දෙදෙනෙක් වෙන්නත් ඇති" . . .

Max  Ehrlich  නම් ඇමරිකානු ලේඛකයා විසින් ලියා පළකරන ලද මෙම ග්‍රන්ථය 70 දශකයේදී ඇමරිකාවෙත් යුරෝපයේත් අතිශය ජනප්‍රියත්වයට පත් විය. එනිසාම හොලිවුඩ් චිත්‍රපටයකටද නැඟිණ. තවද මෙම නවකතාවෙන් ඇති වූ ප්‍රොබෝධය නිසා බටහිර සමාජයේ තරුණ පරපුර අතර, පුනුරුත්පත්තිය දැඩි අවදානයකට හා විමසීමකට ලක් වූ බවද අසන්නට ලැබිණ. 

පුරා හඳ

 කතෘ- ජයතිලක කම්මල්ලවීර

හෙට පසළොස්වක පෝයට පෙරහුරුවක යෙදෙන්නාක් මෙන් ඕවිට කෙළවරේ උස පොල් ගහේ හෙවනැල්ල, කොළ පාගා ඉවත් කරගත් කමත මැද අඳිමින් පුර හඳ පන්සල් වත්ත ඉහළින් පායා තිබුණේය. තණකොළ උදළු ගා සුද්ධ කළ පසුව දින කිහිපයක් මිනිසුන්ගේ ගොරොසු පතුල්වලින් පිරිමැදී මට්ටම් වී ඇති කමත මැද වැටුණු පොල් කරටි ඡායාව කොතරම් පැහැදිලි වී ද යත් සක්මන් ශාලාවේ කෙළවරක පිහිටි පුංචි ජනේලයෙන් පිටත බලා සිටින සුගුණාලංකාර නායක හාමුදුරුවන්ට එය භාවනා නිමිත්තක් සේ විය. ඒ නිමිත්ත වූයේ උන්වහන්සේගේ දෑසට යාර දෙසීයක් තරම් ඈතිනි.


සිංහල සමාජයේ කාහටත් පන්සල සුපුරුදු ස්ථානයකි.
එහෙත් එහි ජීවිතය නම් දුරස්ථය . . .
පුරාහඳ සිංහල නවකථා ක්ෂෙත්‍රය පමණක් නොව පාඨකයාද තිගැස්මකට හසු කරන කෘතියකි.
ප්‍රවීන නවකතාකරුවෙකු වන ජයතිලක කම්මැල්ලවීරගේ පරිකල්පන ශක්තිය මෙන්ම සමාජ දෘෂ්ටියද මැනවින් පුරාහඳේන් හදුනාගත හැකි වේ.